වැඩසටහන්

පුණ්‍යග්‍රාම වැඩසටහන

සදාචාර සම්පන්න ගුණගරුක සමාජයක් බිහිකිරීම උදෙසා දිවයින පුරා පිහිටි විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පුණ්‍යග්‍රාම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ගමත් පන්සලත් එක්කරමින් සාරධර්ම සුරකින සදාචාරාත්මක ගුණ ගරුක සමාජයක් බිහිකිරීමට ගිහි, පැවිදි කණ්ඩායම්වලට තම කාර්යභාර්ය මැනවින් අවබෝධ කරදී, ඒ හරහා සමාජයේ වැදගත් පිරිස සේ සැලකෙන තරුණ පරපුර රටේ ආර්ථිකය මෙන්ම සමාජයීය හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා යොදා ගැනීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබයි.

දුෂ්කර විහාරස්ථාන සඳහා ආධාර ලබාදීම

 ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් බුද්ධශාසන  අමාත්‍යාංශය මූල්‍ය ආධාර සපයනු ලබයි. දුෂ්කර විහාරස්ථාන නගාසිටුවීමේ අරමුණින් එම විහාරස්ථාන සඳහා ආධාර ලබාදීම සිදුකරන අතර, ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

මතට තිත වැඩසටහන

 මතින් තොර සමාජයක් බිහිකිරීම සඳහා ජාතික මට්ටමින් සැලසුම් කරන ලද වැඩසටහන මතට තිත වැඩසටහනයි. 2007 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන බුද්ධශාසන  අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික මතද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උපදේශකනත්වය මත ක්‍රියාවට නංවනු ලබයි.

සිල් මාතා කුසලතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය

බුද්ධශාසන  අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය දිවයින පුරා විසිරී පැතිරී සිටින විවිධ වූ ආර්ථික, සමාජයීය සහ අධ්‍යාපන මට්ටම්වල සිටින සිල් මාතාවන්ගේ ධර්ම ඥානය හා කුසලතා වර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ලද ව්‍යාපෘතියකි. මෙම වැඩසටහන මඟින් සිල් මෑණිවරුන් හට සමාජයීය, ශාසනික ක්‍රියාවන්හි වඩාත් ඵලදායී ලෙස අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

ඊට අමතරව සිල් මාතා ආරවල භෞතික සම්පත් වර්ධනය කෙරෙහි ද අවධානය යොමු නරනු ලබන අතර ඒ සඳහා මූල්‍යමය ආධාර ලබාදීම සිදුකෙරේ.

නේපාලය - ලුම්බිණි ලංකා විහාරය ආශ්‍රිත සංවර්ධන කටයුතු

නේපාලයේ ලුම්බිණි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලුම්බිණි සල් උයන අවටින් සියලු බෞද්ධ රටවල් සඳහා එම රටවලට ආවේනික බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමට ඉඩකඩ ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු වන ආකාරයේ විහාරස්ථානයක් ඉදිකිරීම සහ දඹදිව වන්දනා සඳහා ශ්‍රී ලාංකේය සහ වෙනත් බැතිමතුන්ට වන්දනා කර ගැනීමේ අරමුණින් මෙම විහාරස්ථානය ඉදිකර ඇත. වර්ග මීටර් 80x80 භූමි ප්‍රමාණයක් මේ සඳහා වෙන්වී ඇති අතර ශ්‍රී ලංකා ලුම්බිණි සංවර්ධන භාරය යටතේ පාලනය වේ.

විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව

බෞද්ධ දර්ශනය පිළිබඳව දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසට අදහස් හුවමාරු කර ගැනීමට අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ශාලාවක අවශ්‍යතාව සපුරනුවස් ආසන 1200 කින් සමන්විත අති නවීන සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස පෑලියගොඩ පිරිවෙන් ප්‍රරිශ්‍රයේ මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත. ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවට අමතරව ආසන 400 බැගින් වූ කමිටු ශාලා දෙකකින්ද මෙය සමන්විත වේ. එවකට පැවති නාගරික සංවර්ධන පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය යටතේ 2006 වර්ෂයේ දී මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2010 වර්ශයේදී අමාත්‍යාංශ සංශෝධනය වීම මත මෙම කාර්යය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතට පැවරී ඇත. මේ වන විට තුන්වන අදියර දක්වා වැඩ කටයුතු නිමවී ඇත.

පූජා භූමි සංවර්ධන අංශය

පූජා භූමියක් ලෙස වෙසෙසින් හඳුන්වනු ලබන්නේ

  • ජාතික මට්ටමින් විශේෂිත වූද, වැදගත් වූ ද, පූජනීය ස්ථාන
  • ප්‍රාදේශීය මට්ටමින් වැදගත් ස්ථානයක් ගන්නා පූජනීය ස්ථාන
  • පුරාවිද්‍යාත්මක සාධක සහිත ඓතිහාසික වටිනාකම්වලින් යුක්ත පූජනීය ස්ථාන
  • ප්‍රාදේශීය වශයෙන් එක් එක් පූජනීය ඓතිහාසික ස්ථානයක් විසින් සිදු කරනු ලබන ආගමික හා සමාජයීය සේවාවන් පදනම් කරගෙන හඳුනාගනු ලබන පූජනීය ස්ථානයන් ය.

එවන් පූජා භූමි 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත යටතේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබේ.

ඒ අනුව ආගමික වැදගත්කම, පුරාවිද්‍යාත්මක පාරිසරික වැදගත්කම, ඓතිහාසික වැදගත්කම, සංස්කෘතික වැදගත්කම, පාරිසරික වැදගත්කම, ආර්ථික හා සමාජයීය වැදගත්කම යන කරුණු ද සැලකිල්ලට ගනිමින් පූජනීය ස්ථාන සංවර්ධනය කිරීම මූල්‍යාධාර සපයනු ලැබේ.

අනුරාධපුර, කුරුන්දම්කුලම්, “රජරට චාරිකා නිවාසය”

අනුරාධපුර, කුරුන්දම්කුලමේ පිහිටා ඇති “රජරට චාරිකා නිවාසය” බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් අනුරාධපුරය ප්‍රදේශයේ විවිධ රාජකාරී කටයුතු සඳහා සහ අනුරාධපුර පූජා භූමිය වන්දනා කිරීමට පැමිණෙන රාජ්‍ය නිළධාරීන්ගේ සුවපහසුව පිණිස ඉතා සහනදාසී මිල ගණන් යටතේ නවාතැන් පහසුකම් ලබාදීමේ අපේක්ෂාවෙන් ඉදිකර ඇත. වසරකට අධික කාල සීමාවක් තුළ රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයකට පහසුකම් සලසා ඇති අතර ඉතා ප්‍රිමනාප නිවාඩු නිකේතනයක් ලෙස ප්‍රසිද්ධිය උසුලයි.

බුද්ධශාසන අරමුදල

1990 අංක 35 දරන බුද්ධශාසන අරමුදල් පනතින් ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබන බුද්ධශාසන අරමුදල බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා ගොඩනැඟුණු ශක්තිමත් අරමුදලකින් යුත් රාජ්‍ය සංස්ථාපිත ආයතනයක් වේ. බුද්ධශාසනයේ ආරක්ෂාව හා පෝෂණය සදහා ගොඩනගන ලද මෙම අරමුදලේ පරිපාලනය , කළමණාකරනය සහ පනතට අදාලව විධිවිධාන සම්පාදනය කිරීම සදහා ගරු අග්‍රාමාත්‍ය තුමාගේ සභාපතිත්වයෙන් යුත් පාළක මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත. එම මණ්ඩලය නිළ බලයෙන් පත්වන සාමාජිකයින්ගෙන් ද අතිගරු ජනාධිපති තුමා විසින් පත් කරන ලද සාමාජිකයින් දෙදෙනෙකුගෙන් ද සමන්විත වේ.