අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ රට වෙනුවෙන්, සම්බුදු සසුන වෙනුවෙන් මෙන්ම අප වෙනුවෙන් ද උදාර යුග මෙහෙවරක නිරත වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

නිදහස් චතුරස්‍රයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) පස්වරුවේ මේ බව අවධාරණය කළේය.

 

අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

 

විද්‍යාලංකාර පරිවේනාධිපති, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය, අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවන්ගේ අපවත් වීම නිසා අප ඉතාම සංවේගයට පත් වෙලා ඉන්නේ.

අපේ නායක හාමුදුරුවෝ විද්‍යලංකාර පිරිවෙනේ 7 වන නායක හාමුදුරුවෝ ලෙසයි ඉතිහාසගත වන්නේ. විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ අතීතයේ සිටම රටට හිතැති භික්ෂුන් වහන්සේලා බිහිකරපු ප්‍රධාන ආගමික හා අධ්‍යාපනික ආයතනයක්. එම ආයතනයේ ගෞරවය ආරක්ෂා කරගෙන මුළු මහත් ලෝකයටම විද්‍යාලංකාර නාමය ගෙන යන්නට අපේ නායක හාමුදුරුවෝ සමත් වුනා.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් කුසලධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ, විද්‍යාලංකාර පිරිවෙන මුල්කර ගෙන ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළ බව අපි සියළු දෙනා දන්නවා.

 

ගෞරව නාමයන් උන්වහන්සේ වෙත ගලා ආවේ උන්වහන්සේ නිහතමානීව හා අවංකව ඉටුකළ සේවාවන් නිසාමයි. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ධූරය හොබවන්නටත් නායක හාමුදුරුවෝ සමත්වුනා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම් අධ්‍යාපනය දියුණු කිරීමටත් දැයට හිතවත්, ඒ වගේම ගුණවත්, නැණවත් දරු පිරිසත් බිහි කිරීමත්, උන් වහන්සේගේ පරම අභිලාෂය වුණා. ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කළ බව අපි දන්නවා.

 

මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ  ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් කොළඹ හලාවත දෙ දිශාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනැමුවේ ද කුසලධම්ම නායක හාමුදුරුවන් ඉටුකළ සේවාව නිසාමයි.

නායක හාමුදුරුවන් අපවත්වන තෙක්ම එම ශාසනික සහ අධ්‍යාපනික සේවාව ඉටුකළ බව මමත් ඔබත් රටත් දන්නවා.

කුසලධම්ම අපේ නායක හාමුදුරුවන්ගෙන් වර්තමාන භික්ෂු සමාජයට ගත හැකි ආදර්ශ ගොඩක් තියනවා. ඒ වගේම මුළු මහත් සම්බුදු සසුනටම නායකත්වය දුන්නා කියලයි මගේ අදහස.

ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා සමඟම සුහදශීලීව කටයුතු කිරීමට නායක හාමුදුරුවන්ට පුළුවන් වුනේ උන් වහන්සේගේ ළඟ තිබූ නිහතමානී කම නිසා බව කියන්නම ඕනේ.

මා විපක්ෂයේ සිටියදීත්, ඇමතිවරයෙක් ලෙස සිටියදීත්, ජනාධිපතිවරයා ලෙස සිටියදීත්, අගමැති වෙලා ඉන්න විටත්, අපේ නායක හාමුදුරුවන් නිතර මුණ ගැහෙන්න ගියා.ඒ වගේම දේශපාලන ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවලදීත් උන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඒ වගේම උන් වහන්සේත් මා මුණ ගැහෙන්න නිතර වඩිනවා.

 

එසේ මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම මා සමඟ සාකච්ඡා කළේ රටේ මෙන්ම සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන්  කටයුතු ඉටුකිරීමට අවශ්‍ය කරන දේවල් පිළිබඳවයි.

 

විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව රාජ්‍ය පාලනයේදී ද  මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවලදී අපේ නායක හාමුදුරුවෝ මාව අත්නොහැර මා ළඟින්ම සිටි බව සිහිපත් කරන්න ඕනෙ. එය මා හට සෑම විටම මහත් ශක්තියක් වුනා.

 

මට මතකයි 2015 දී පැරදිලා මැදමූලන යන්න කොටුව මන්දිරයෙන් පිටත්වෙන කොට අපේ නායක හාමුදුරුවන් වැඩම කළා. ඒ වෙන කොට මම හෙලිකොප්ටරයට නගින්න යන්න පිටත් වෙලා. උන් වහන්සේ හෙලිකොප්ටරය ළඟට වැඩම කරලා, මට පිරිත් කියලා, පිරිත් නූල් බැඳලා, ආශිර්වාද කරලා මාව දිරිමත් කළා.

බලය තියෙන විටත් නැති විටත්, දුකේදීත් සැපේදීත්, කුසලධම්ම අපේ නායක හාමුදුරුවන් මා සමඟ සිටියා.

එම අවස්ථාවන්වලදී ලබාදුන් අවවාද හා අනුශාසනා මට ඉතාම වැදගත් වුනා. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාගේ ජීවිතයේ දැඩි කළ්‍යාණ මිත්‍ර හිමි නමක් බව ප්‍රකාශ කරන්නටම ඕනේ.

 

නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත  හැකි ආදර්ශ බොහෝමයි.

උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිස්තැන පිරිමැසිය නොහැකිය.

 

වැලමිටියාවේ කුසලධම්ම නායක  හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ යුගයක් ලෙසයි මා දකින්නේ. උන් වහන්සේ කළ ආගමික, ශාසනික, අධ්‍යාපනික හා ජාතික මෙහෙවර ඒ තරම්ම අපේ රටට වටිනවා.

 

රට වෙනුවෙන්, සම්බුදු සසුන වෙනුවෙන්, අපි වෙනුවෙන් උදාර යුග මෙහෙවරක් ඉටුකොට අපගෙන් වෙන්ව යන අති ගෞරවනීය වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක හාමුදුරුවන්ට තමන් පතන බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !

නවතම දර්ශන