සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 215 වැන්න වප්පුර පුන් පොහොය යෙදෙන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය සහ ඉත්තදෙමලිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති ඉන්දසර නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා ඇරඹි “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පුන් පොහෝ දිනකම පවත්වන්නට යෙදීමෙන් රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකර ඇති බව ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති ඉන්දසර නාහිමියෝ පෙන්වා දුන්හ.

ධර්මදේශනය අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් අෂ්ඨපරිෂ්කාර පූජා කරනු ලැබුවාය. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සැකසූ සුවිශේෂී සිහිවටනයක් ද උන්වහන්සේ ට පිළිගැන්නුවාය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

නවතම දර්ශන