ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව ගෞරවණීය මහා සංඝරත්නය හා අන්‍ය පූජක ප්‍රසාදීන් වහන්සේලා මත්ද්‍රව්‍ය නිවාරණය සබැදිව විද්‍යාත්මක හා නිවැරදි දැනුමෙන් පෝෂණය කිරීම හා එමගින් සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම සඳහා උන්වහන්සේලාගේ මග පෙන්වීම වඩා ඵලදායී අයුරින් යොදවා ගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති ගෞරවණීය අතිපූජ්‍ය මකුලෑවේ විමල මහ නායක ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම හා අනුශාසනා ලබාගැනීම පසුගියදා (2021.02.08) පස්වරුවේ මීරිගම,මිණිඔලුව,විද්‍යාවාස පිරිවෙනෙහි සිදු කෙරින.

එම අවස්ථාව සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය දෙනගම ධම්මාරාම ස්වාමීන්වහන්සේ, අමාත්‍යංශ අතිරේක ලේකම් (සංවර්ධන) ජේ.සී රණේපුර මහතා,ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී දේශබන්දු නලින් අමරසිංහ මහතා,අන්තර්ජාතික ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂජනරාල් භද්‍රානි සේනාරත්න මහත්මිය ඇතුලු නිළධාරී මණ්ඩලයක් සහභාගී විය.

එහිදී ගරුතර මහා සංඝරත්නය වෙත එම පුහුණුව ලබාදීම ඉතා සුදුසු බවත්,මෙරට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම මහජනතාවට දැනෙන අයුරින් ක්‍රියාත්මක කළයුතු බවත් මහා නායක ස්වාමීන් වහන්සේ දේශනා කලහ.මහජනතාව වෙත මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව හා භාවිතයෙන් පුද්ගලයාට වන හානිය පිලිබඳව වඩ වඩා දැනුවත් කල යුතු බව වැඩිදුරටත් සඳහන් කරමින් වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ආශිර්වාද පතමින් ගෞරවණීය මහ නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කලහ.

නවතම දර්ශන