නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් වෙයි

නත්තල් දින සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (01) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී නිකුත් කෙරිණි.

 

පළමුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සමරු මුද්දර සහ මුල්දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදෙන ලදි.

 

අනතුරුව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් එම සමරු මුද්දර හා මුල් දින කවරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්නුවේය.

 

මෙසේ නිකුත් කළ සමරු මුද්දර රුපියල් 45 සහ රුපියල් 15 වටිනාකම්වලින් යුක්තය.

 

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අංශයෙන් මුද්දර නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන් වූ කඳාන ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවාගේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ෂිනාලි රුවන්‍යා  පීරිස්  ශිෂ්‍යාවගේ ජයග්‍රාහී චිත්‍ර යොදාගනිමින් මෙවර නත්තල් දින සමරු මුද්දර නිර්මාණය වීම විශේෂත්වයකි.

 

ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ නිමේෂ් චමත් පෙරේරා සිසුවා චිත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමාගේ රුව නිරූපිත සිතුවමක් ද මෙහි දී එම සිසුවා විසින්  අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදි. කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහිකාව වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ෂිනාලි රුවන්‍යා  පීරිස්  ශිෂ්‍යාව ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

 

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුලු මහා සංඝරත්නය සහ ආචාර්ය සෙක්ටස් කුරුකුලසූරිය හා බර්ට්‍රම් රංජිත් පියතුමන්ලා මෙහි පැමිණ සිටියහ.

 

 

 

 

 

 

 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී  සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය  ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් එම්.කේ රත්නායක, තැපැල්පති රංජිත් ආරියරත්න, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ  ශාන්ත කුමාර මීගම, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියන් දෙපළක් වන චතුරි පින්ටෝ සහ මාදවී දිව්‍යාංජලී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළලේ සංවිධාන කමිටුව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද(29) දින පැවැත්විණි.

“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ  74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී   තීරණය කළේය.

තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද 74 වන ජාතික නිදහස් දින සැමරුමට ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට මෙහි දී දැනුම් දුන්නේය.

දේශීය විශේෂ ආරාධිතයන්ට ආරාධනා කිරීමේ වගකීම වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ  කටයුතු ,ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට පැවරිණි.

74 වන නිදහස් උළෙල  සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු විය.

නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව 2022 පෙබරවාරි 02 වන දින නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය වූ අතර  නිදහස් දිනට සමගාමීව පැවැත්වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික වතාවත්  කරනු ලබන සිද්ධස්ථාන හා වේලාවන් නිර්දේශ කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට පැවරිණි.

නිදහස් දින උළෙලට සමගාමීව පැල  ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.

උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක්වූ අය පමණක්  සහභාගි කරගත යුතු බව ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

 

 

 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්.පීරිස්, ජනක බණ්ඩාර තෙන්නකෝන්,වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත් අමාත්‍යාංශ ලේකම්වරුන්වන එස්.ආර් ආටිගල, අනුරාධ විජේකෝන් , මහාචාර්ය කපිල ගුණවර්ධන, ජේ.ජේ රත්නසිරි, එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග,  අතිරේක ලේකම්වරුන්වන ජේ.සී රණේපුර, තිලක් හෙට්ටිආරච්චි, එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්වන ප්‍රියංග නානායක්කාර,නයනා සංගල්ලුලිගේ , අධ්‍යක්ෂ නාවික පරිපාලන කොමදෝරු කේ.ඒ.පී.එස්.කේ කාරියප්පෙරුම, ජනාධිපති අධ්‍යක්ෂක ජනරාල්(මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂක (මාධ්‍ය හා සන්නිවේදන) සුරේන් නුවන් තාරක මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍යතුමාගේ දායකත්වයෙන් ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති වාර්ෂික කඨින මහා පූජෝත්සවය

කොළඹ 10 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පුජෝත්සවයේ කඨින චීවරය අද (14) උදෑසන අරලියගහ මන්දිරයේ සිට පෙරහරකින් වැඩම කොට සඝසතු කර පූජා කෙරිණි.

 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වස් ආරාධනයෙන් පසු කඨින චීවරය සඝ සතු කිරීම දක්වා මූලික දායකත්වය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු දරු මුණුබුරන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දරනු ලැබූහ.

 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය පෙරටුකොට ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අරලියගහ මන්දිරයේ සිට ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය වෙත කඨින චීවරය පෙරහරින් වැඩම කරවූහ.

 අනතුරුව ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී කඨින චීවරය පූජා කිරීමේ මහා පූජෝත්සවය පැවැත්විණි.

 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහානායක මකුලෑවේ විමල නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කරන අවස්ථාවට වැඩම කළ වදාළහ.

 මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු පිළිබඳ පෞද්ගලික ලේකම් ඒ.එම් රත්නායක මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආගමික අංශයේ නිලධාරි මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

දීපවාලි උත්සවය දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවිඩය

රට ගොඩනඟන ‘සෞභාග්‍යයේ දැක්ම’ යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බාධක රැසක් ජයගනිමින් අපි ප්‍රබුද්ධ සංවර්ධන මාවතක් උදෙසා ගමන් කරමින් සිටිමු. අපේ ජාතිය සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිය දැකීම අප කාගේත් අපේක්ෂාවයි.

අද ලෝකයටම තර්ජනයක් වී ඇති කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපි ප්‍රගතිශීලී සහ ඵලදායී ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් සිටිමු. සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවී, ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ජාතියක් ලෙස දියුණු වන යහපත් අනාගතයක ආරම්භය ලෙස මෙම දීපවාලි උත්සවය දිනය උදා වේවා.

අඳුරු මාවතක ආලෝකය ඇත්නම්, එය අප යන මාවතට සහාය වනු ඇත. දීපවාලි යනු එවැනි අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය නමස්කාරය තුලින් ලබා ගන්නා සුවිශේෂී දිනයකි. දීපවාලි උත්සවය ඉතා භක්තියෙන් සමරන සියලුම හින්දු බැතිමතුන් වෙනුවෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටුනි.

ජාතික සමගිය සැමරීමට මෙය විශිෂ්ට දිනයකි. පහන් වන්දනාව සෑම ආගමකටම පොදු වේ. අප තුළ ඇති අවිද්‍යාව නමැති අඳුර දුරු වී, අභ්‍යන්තර ආලෝකය බැබළිමයි එම පහන් පූජාවේ අරමුණ. මෙම සුවිශේෂි දිනයේ දල්වන ආලෝකය ප්‍රජාවන් අතර වඩා හොඳ අවබෝධයක් සඳහා සංඥාවක් ලෙස සැලකිය යුතුය. මෙතරම් කාලයක් අපේ ජනතාව භේද භින්න කළ සියලු වෙනස්කම් මකා දමන මොහොතක් ලෙස දීපවාලි උත්සවය සමරමු. මේ ආලෝකය නිවී යන්නට ඉඩ නොදී නැවත අඳුරේ ගිලී නොයනලෙස අපි ආරක්‍ෂා කර ගත යුතු බව ශ්‍රී ලංකා මාතාවගේ දරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ශ්‍රී ලාංකික සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් දීපවාලි දිනයක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ රටත් සම්බුද්ධ සසුනත් වෙනුවෙන් උදාර යුග මෙහෙවරක නිරත වුණා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ රට වෙනුවෙන්, සම්බුදු සසුන වෙනුවෙන් මෙන්ම අප වෙනුවෙන් ද උදාර යුග මෙහෙවරක නිරත වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 

නිදහස් චතුරස්‍රයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (31) පස්වරුවේ මේ බව අවධාරණය කළේය.

 

අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

 

විද්‍යාලංකාර පරිවේනාධිපති, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක මහෝපාධ්‍යාය, අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හාමුදුරුවන්ගේ අපවත් වීම නිසා අප ඉතාම සංවේගයට පත් වෙලා ඉන්නේ.

අපේ නායක හාමුදුරුවෝ විද්‍යලංකාර පිරිවෙනේ 7 වන නායක හාමුදුරුවෝ ලෙසයි ඉතිහාසගත වන්නේ. විද්‍යාලංකාර පිරිවෙන කියන්නේ අතීතයේ සිටම රටට හිතැති භික්ෂුන් වහන්සේලා බිහිකරපු ප්‍රධාන ආගමික හා අධ්‍යාපනික ආයතනයක්. එම ආයතනයේ ගෞරවය ආරක්ෂා කරගෙන මුළු මහත් ලෝකයටම විද්‍යාලංකාර නාමය ගෙන යන්නට අපේ නායක හාමුදුරුවෝ සමත් වුනා.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් කුසලධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ, විද්‍යාලංකාර පිරිවෙන මුල්කර ගෙන ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළ බව අපි සියළු දෙනා දන්නවා.

 

ගෞරව නාමයන් උන්වහන්සේ වෙත ගලා ආවේ උන්වහන්සේ නිහතමානීව හා අවංකව ඉටුකළ සේවාවන් නිසාමයි. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ධූරය හොබවන්නටත් නායක හාමුදුරුවෝ සමත්වුනා.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම් අධ්‍යාපනය දියුණු කිරීමටත් දැයට හිතවත්, ඒ වගේම ගුණවත්, නැණවත් දරු පිරිසත් බිහි කිරීමත්, උන් වහන්සේගේ පරම අභිලාෂය වුණා. ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කළ බව අපි දන්නවා.

 

මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ  ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් කොළඹ හලාවත දෙ දිශාවේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනැමුවේ ද කුසලධම්ම නායක හාමුදුරුවන් ඉටුකළ සේවාව නිසාමයි.

නායක හාමුදුරුවන් අපවත්වන තෙක්ම එම ශාසනික සහ අධ්‍යාපනික සේවාව ඉටුකළ බව මමත් ඔබත් රටත් දන්නවා.

කුසලධම්ම අපේ නායක හාමුදුරුවන්ගෙන් වර්තමාන භික්ෂු සමාජයට ගත හැකි ආදර්ශ ගොඩක් තියනවා. ඒ වගේම මුළු මහත් සම්බුදු සසුනටම නායකත්වය දුන්නා කියලයි මගේ අදහස.

ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා සමඟම සුහදශීලීව කටයුතු කිරීමට නායක හාමුදුරුවන්ට පුළුවන් වුනේ උන් වහන්සේගේ ළඟ තිබූ නිහතමානී කම නිසා බව කියන්නම ඕනේ.

මා විපක්ෂයේ සිටියදීත්, ඇමතිවරයෙක් ලෙස සිටියදීත්, ජනාධිපතිවරයා ලෙස සිටියදීත්, අගමැති වෙලා ඉන්න විටත්, අපේ නායක හාමුදුරුවන් නිතර මුණ ගැහෙන්න ගියා.ඒ වගේම දේශපාලන ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවලදීත් උන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඒ වගේම උන් වහන්සේත් මා මුණ ගැහෙන්න නිතර වඩිනවා.

 

එසේ මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම මා සමඟ සාකච්ඡා කළේ රටේ මෙන්ම සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන්  කටයුතු ඉටුකිරීමට අවශ්‍ය කරන දේවල් පිළිබඳවයි.

 

විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව රාජ්‍ය පාලනයේදී ද  මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවලදී අපේ නායක හාමුදුරුවෝ මාව අත්නොහැර මා ළඟින්ම සිටි බව සිහිපත් කරන්න ඕනෙ. එය මා හට සෑම විටම මහත් ශක්තියක් වුනා.

 

මට මතකයි 2015 දී පැරදිලා මැදමූලන යන්න කොටුව මන්දිරයෙන් පිටත්වෙන කොට අපේ නායක හාමුදුරුවන් වැඩම කළා. ඒ වෙන කොට මම හෙලිකොප්ටරයට නගින්න යන්න පිටත් වෙලා. උන් වහන්සේ හෙලිකොප්ටරය ළඟට වැඩම කරලා, මට පිරිත් කියලා, පිරිත් නූල් බැඳලා, ආශිර්වාද කරලා මාව දිරිමත් කළා.

බලය තියෙන විටත් නැති විටත්, දුකේදීත් සැපේදීත්, කුසලධම්ම අපේ නායක හාමුදුරුවන් මා සමඟ සිටියා.

එම අවස්ථාවන්වලදී ලබාදුන් අවවාද හා අනුශාසනා මට ඉතාම වැදගත් වුනා. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාගේ ජීවිතයේ දැඩි කළ්‍යාණ මිත්‍ර හිමි නමක් බව ප්‍රකාශ කරන්නටම ඕනේ.

 

නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත  හැකි ආදර්ශ බොහෝමයි.

උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිස්තැන පිරිමැසිය නොහැකිය.

 

වැලමිටියාවේ කුසලධම්ම නායක  හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ යුගයක් ලෙසයි මා දකින්නේ. උන් වහන්සේ කළ ආගමික, ශාසනික, අධ්‍යාපනික හා ජාතික මෙහෙවර ඒ තරම්ම අපේ රටට වටිනවා.

 

රට වෙනුවෙන්, සම්බුදු සසුන වෙනුවෙන්, අපි වෙනුවෙන් උදාර යුග මෙහෙවරක් ඉටුකොට අපගෙන් වෙන්ව යන අති ගෞරවනීය වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක හාමුදුරුවන්ට තමන් පතන බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි !

අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඹ  හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ  ධර්මකීර්ති  ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී අවසන් ගෞරව දැක්වීය.

 

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කළ මෙහෙය මෙන්ම රටතුළ විවිධ අර්බුධ හා ගැටලු ඇතිවන අවස්ථාවන්වල දී  ඒවා නිරාකරණය කිරීමට කුසලධම්ම නාහිමියෝ නායකත්වය ගෙන කටයුතු කළ ආකාරය අග්‍රාමාත්‍යතුමා මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළේය.

 

සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ නිරත වූ කුසලධම්ම නා හිමියෝ සිය ජීවිත කාලයෙන් හැට හත් වසරක්ම ගතකරනු ලැබුවේ සම්බුදු සසුනේ චිරස්ථතිය වෙනුවෙනි.

 

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ප්‍රවීණ ගීත රචක පුජ්‍ය වැලමිටියාවේ කඥාණරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වන අවස්ථාවට වැඩම කර සිටියහ.

 

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සහ රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්වූහ.

 

අපවත්වී වදාළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමින්ගේ ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු පූර්ව රාජ්‍ය ගෞරව සහිතව  සහිතව හෙට (31) දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.

වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම හේතුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා නිකුත් කරන ශෝක පණිවුඩය

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගෞරවාර්හ වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සේ සංවේගයට පත්විමි.

තම දිවිය වසර 85 ක් වැනි කලක දී අවසන් කරන අපේ නායක හාමුදුරුවෝ, ඉන් වසර 67 ක් ම වෙන්කළේ සම්බුදු සසුනේ සිල්වත් ගුණවත් මහා ථෙරනමක් ලෙස පරාර්ථ චර්යාවේ යෙදීම සඳහාමය.

සාහිත්‍ය චක්‍රවර්ති ගෞරවාර්හ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම , ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර වැනි සම්බුදු සසුන එළිය කළ නායක ස්වාමීන්වහන්සේලාගේ ඇසුර හා මාර්ගෝපදේශකත්වය නිරන්තරයෙන් ලැබීමට අපේ නායක හාමුදුරුවෝ වාසනාවන්ත වූහ.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් නායක ස්වාමීන් වහන්සේ, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍රීයව ධර්ම ශාස්ත්‍ර සේවාවන් ආරම්භ කළහ.

විටින් විට රටේ ඇතිවන විවිධ ගැටලු වලදී සුවිශාල නායකත්වයක් ගෙන කටයුතු කළ නායක ස්වාමීන්වහන්සේ ඉටුකළ ‍සේවාව වචනයෙන් විස්තර කළ නොහැකිය.

විශේෂයෙන් මාගේ දේශපාලන ගමන්මගේ දී පමණක් නොව පෞද්ගලික ජීවිතයේදී ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළේ දැඩි මිත්‍රත්වයකිනි.

මා වෙත පැමිණි විවිධ බාධක හා ගැටලු අවස්ථාවන්හී දි අත්නොහැර කටයුතු කළ නායක ස්වාමින් වහන්සේ, මාහට මහත් ශක්තියක් වු අතර, එහිදී ලබාදුන් අවවාද අනුශාසනා හා ආදර්ශ බොහෝය. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැඩි කළ්‍යාණ මිත්‍ර ථෙරනමකි.

හමුවූවිට නිතර මා සමඟ සාකච්ඡා කළේ රට දැය මෙන්ම සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට ය.

විද්‍යාලංකාර සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට මහත්සේ ඇලුම්කළ නායක ස්වාමීන් වහන්සේ උගත් සිල්වත් භික්ෂු පරපුරක් සසුනට දායද කිරිමට වෙහෙස වී ක්‍රියා කළහ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් දහම්පාසල් දූ දරුවන් දැයට හිතැති ගුණවත්, නැණවත් දරු පිරිසක් බවට පත්කිරීම උන්වහන්සේගේ පරම අභිලාෂය වූහ.

මල්වතු මහා විහාරය මඟින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරය හා උපාධ්‍යාය ධූරය උන්වහන්සේට පිරිනැමුවේ නායක ස්වාමීන් වහන්සේ ඉටුකරන උදාර ජාතික හා ශාසනික සේවාව නිසාමය.

විදේශ රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරය සඳහා කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේ, විදේශීය භික්ෂූන් වහන්සේලාට මෙන්ම එම ජනතාවට ඉටුකරන මෙහෙය නිසාම බුරුම රජය මඟින් අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ යන ගෞරව නාම සම්මුතිය උන්වහන්සේට පිරිනැමූහ.

ත්‍රෛනිකායික භික්ෂු මහා සංඝයා වහන්සේ සමඟ නිරන්තර ලෙන්ගතු කමින් කටයුතු කළ අතර, සැමවිටම සිනා මුසුව සිටි ආදර්ශ සම්පන්න ගුණගරුක මහ ථෙරනමකි.

නායක ස්වාමීන් වහන්සේගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝය. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇති වූ හිඩැස පිරිමැසිය නොහැකිය.

පුරා වසර 85 ක් ආයු වළදා අපවත් වී වදාළ ගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරමි. එසේම උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විද්‍යාලංකාර පිරිවෙන් දායක සභාවටත්, සියලු ඥාතීන් ඇතුලු සැමටත් මාගේ බලවත් සංවේගය පිරිනමමි.

“අමාදම් සිසිලස” 215 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 215 වැන්න වප්පුර පුන් පොහොය යෙදෙන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මල්, පහන්, සුවඳ දුම් පූජාකිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය සහ ඉත්තදෙමලිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති ඉන්දසර නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා ඇරඹි “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පුන් පොහෝ දිනකම පවත්වන්නට යෙදීමෙන් රාජ්‍ය නායකයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකර ඇති බව ඉත්තදෙමලියේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්දජෝති ඉන්දසර නාහිමියෝ පෙන්වා දුන්හ.

ධර්මදේශනය අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් අෂ්ඨපරිෂ්කාර පූජා කරනු ලැබුවාය. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සැකසූ සුවිශේෂී සිහිවටනයක් ද උන්වහන්සේ ට පිළිගැන්නුවාය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවට මෙරටින් වැඩම කරන මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමා හමුවෙති

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය අද (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (20) දින විවෘත කිරීමට නියමිතය. මෙම ඓතිහාසික අවස්ථාවට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන්නේ නම් තමන් සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙයට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබිණි.

ඒ අනුව කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ සිට පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමුව එහි ගොඩ බැස්සවීමට නියමිතය.

මෙම ඓතිහාසික ගමනට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් වැඩම කිරීමට නියමිතව තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු දූත පිරිසක් ද මෙම ගමනට එක්වනු ඇත.

කුෂිනගර් දක්වා වැඩම කරන මහා සංඝරත්නයට ඊට අදාළ අවසර පත් පිළිගැන්වීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී සිදුවිය.

නවතම දර්ශන