අග්‍රාමාත්‍යතුමා හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

1985 අංක 31 දරන පාර්ලිමේන්තු පනත යටතේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දිරිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල ස්ථාපිත කර තිබේ.

මෙම අරමුදලේ නව සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පත්කර ඇති අතර හින්දු සංස්කෘතික අරමුදල ඒ මහතා ඇතුළු සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයකින් සමන්විතය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. උමාමහේෂ්වරන් සහ සහකාර අධ්‍යක්ෂ කේ. හේමලොජිනි මහත්ම මහත්මීන් මෙම අරමුදලට නිල බලයෙන් පත්වේ.

මෙයට අමතරව හිටපු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්ති නාවුක්කරසන් මහත්මිය, මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ජින්දුපිට්ටි ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි දේවාලයේ භාරකාර මණ්ඩලයේ ලේකම් ජී.වී. සුබ්‍රමනියම්, ව්‍යවසායක දේශමාන්‍ය දුරේසාමි විග්නේශ්වරන් සහ ඒ.බී.‌ජෙයරාජ් මහත්ම මහත්මියන් අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලදි.

ජාතික වෙසක් උත්සව සමරු මුද්දර ත්‍රිත්වය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්  අද (12) දින අරලියග මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඒ අනුව මෙවර ජාතික වෙසක් උත්සවයේ සමරු මුද්දර සඳහා ඓතිහාසික වටිනාකමකින් යුතු උතුරු හා නැගෙනහිර පළාත් වල බෞද්ධ සිද්ධස්ථාන වල චිත්‍ර යොදාගෙන තිබේ.

වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ.

රුපියල් දහය, රුපියල් පහළොව  සහ රුපියල් හතළිස් පහ මුදල්  වටිනාකමින් යුතු මුද්දර තුනක් මෙහි දී නිකුත් විය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය  පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියොජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මැයි දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේ සමස්ත වැඩ කරන ජනතාවට මා සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන අද දිනයේ සමස්ත වැඩ කරන ජනතාවට මා සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ආරම්භ වූ ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ‌ ශ්‍රේෂ්ඨතම දිනයයි.

පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය වේ.

වැඩබිම්වල දහඩිය වගුරවමින් සියලු දෙනාගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔබ කරනු ලබන මෙහෙවර ඇගයීමට මම මෙය අවස්ථාවක් කරගනිමි.

අප සියලු දෙනා දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ ශක්තියසහ එකමුතුබව ලොවට විදහපාන දිනයයි.

එසේ වුවද ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවරද පෙළපාලි හා රැස්වීම්වලින් තොරව ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට සිදුව තිබේ. මෙවන් ව්යලවසන අවස්ථාවක දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් ශ්‍රී ලාංකේය කම්කරු ජනතාව මැයි දිනය අලුත් මුහුණුවරකින් සමරනු ඇතැයි බලාපොරොත්තුවෙමි. කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බව සිහි පත්කරමි. එමෙන්ම කම්කරු අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් අප ඇප කැප වුණෙමු.

දෙදහස් විසි එක වර්ෂය සඳහා මා විසින් ඉදිරිපත් කළ අය-වැය ලේඛනයෙන් වතු කම්කරුවන් සඳහා පොරොන්දු වු රුපියල්දහසේ දෛනික වැටුප ලබා දීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයකි.

එමෙන්ම කම්කරු ප්රතජාවගේ සුභසාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත හා වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත්කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරකීමට අප රජයට හැකි වීම ඔබට කළ ගෞරවයක් බව සිහිපත් කරමි. ජනහිතකාමි වැඩබිමක් සුරක්ෂිත දේශයක් තේමාවෙන්මෙවර සමරනු ලබන මැයි දිනයේ දී දේශීය ආර්ථිකය නගා සිටුවීමට කම්කරුජනතාව එකාමෙන් අත්වැල් බැඳගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් මාගේ ප්රඔණාමය පුද කරමි.

ලෝකවාසී වැඩකරන සියලු ජනතාවට ජයවේවා!

ගරු අග්‍රාමාත්‍යතුමා නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අගමැති නිල නිවසේ දී අද (17) දින පෙරවරුවේ ඉටු කළේය.

පූර්වභාග 7.16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයයි.

පළමුව බුද්ධ මන්දිරයට ගොස් මල් පහන් පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක් විය.

ඓතිහාසික මාදන්වල රජමහා විහාරාධිපති විශ්වීය බෞද්ධ හික්ෂු සම්මේලනයේ භාණ්ඩාගාරික රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැල්ලගිරිය සුමංගල නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද එක් කළහ.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද නාහිමියෝ ද මෙහි වැඩම කළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පවුලේ සමාජිකයෝ පිරිසක් එක්වූහ.

Latest Video