ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 209 වැන්න අද (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පළමුව අග්‍රාමාත්‍යතුමා, ආර්යාව ඇතුළු පිරිස ආගමික වතාවත්වල නිරත වූහ. අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද මැදවච්චියේ ධම්මජෝති නාහිමියන්ට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 209 වැන්නේ බක් පුන් පොහොයේ වැදගත්කම සහ ‍චක්කවත්ති සිහනාද සූත්‍රය, කූඨ දන්ත සූත්‍රය සහ ගන්ඨ තීන්දු ජාතකය මූලාශ්‍ර කරගනිමින් යහපත් රාජ්‍ය පාලනයක් පිළිබඳව ධර්ම කරුණු සාකච්ඡා කෙරිණි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති “අමාදම් සිසිලස” 209 ධර්ම දේශනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමීපතයන් කිහිපදෙනෙක් පමණක් සහභාගී වූහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද ධර්මය ශ්‍රවණය කිරීමට එක්ව සිටියේය.

Latest Video